ඉක්මන් පිවිසුම්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ! සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවතු අන්තරායෝ සුඛී දීඝායුකෝ භව!
සැමට නිදුක් නිරෝගී සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!!!


පිරිත් සූත්‍ර පිරිතෙන් වැඩගනීම

පිරිත යනු කුමක් ද?

පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං 
හාත්පසින් ආරක්‍ෂාව සලසන බැවින් ‘පරිත්ත’ නම් වේ. 
අන්තරායං පරිහරන්තං තායතීති පරිත්තං  
අනතුරු වළක්වාලමින් ආරක්‍ෂාව ලබා දෙන බැවින් ‘පරිත්ත’ නම් වේ. 
මහා තේජවන්තාය සමන්ත තෝ සත්තානං භයං උපද්දවං උපසග්ගං ච තායතී රක්ඛතීති පරිත්තං
තේජවන්ත බැවින් සත්ත්වයින්හට පැමිණෙන උවදුරු දුරුකරලන බැවින් ‘පරිත්ත’ නම් වේ. 
පරිතෝවා සබ්බූපද්දවතෝ තායතීති පරිත්තං  
හාත්පසින් සියලුම උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂාව ලබා දෙන බැවින් ‘පරිත්ත’ නම් වේ. 

මෙහිදී පරිත්‍රාණ , පරිත්ත , පිරිත යන පද තුනම මේ සඳහා භාවිතා වේ. පරිත්‍රාණ යනු සංස්කෘත භාෂාවෙන් කරනු ලබන ව්‍යවාහාරය යි. පරිත්ත යනු පාළි භාෂාවෙන් කරනු ලබන ව්‍යවහාරය යි. පිරිත යනු සිංහල භාෂාවෙන් කරනු ලබන ව්‍යවහාරය යි. මේ වචන තුනම එකම අරමුණක් හැඳින්වීම සඳහා භාවිතා කරනු ලැබේ.  

පිරිත වනාහි සර්ව සම්පූර්ණයෙන්ම සුපිරිසිඳු මනාව දේශනා කරන ලද බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන්ම සිදුකරන ලද බුද්ධ භාෂිතයක්ම වන්නේය. එබැවින් පිරිත වනාහි බුද්ධ භාෂිතයක්ම වන්නේ ය. අප මහා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන කාලයෙහිදීම පිරිත් දේශනාව ආරම්භ විය. 

දස දහසක් සක්වල ආඥා චක්‍රය පවත්නා පිරිත් සූත්‍ර පහක් පිරුවාණා පොත් වහන්සේගේ සඳහන් වේ.

  1. විශාලා මහනුවර තුන් බිය දුරු කිරීමට දේශනා කළ රතන සූත්‍රය.
  2. පෙර බුදුවරුන්ට නමස්කාර කොට ආහාර සෙවීමෙහි නිරත මොණරෙක් පිලිබඳ සඳහන් මෝර පිරිත.
  3. රාහු විසින් චන්ද්‍රයා බුදුගුණ සිහිකිරීමෙන් කල නමස්කාරය සඳහන් චන්ද පිරිත.
  4. ධජාග්‍රය බලා බිය දුරු කර ගන්නවාට වඩා වීතරාග - වීතදෝෂ - වීතමෝහ ගුණාංගයන්ගෙන් යුත් රත්නත්‍රය දෙස බැලීම වැදගත් බව සඳහන් ධජග්ග පිරිත.
  5. සිවුවණක් පිරිසට අමනුෂයන්ගෙන් පමිණෙන උවදුරු වළක්වා ගැනීමට වෛශ්‍රවණ විසින් බුදුරජුන්ට පවසුවේ යයි කියන අටානානිය පිරිත.


පිරිතේ ආනිසංස කවරේ ද?   
        පිරිත් දේශනාවෙහි අඩංගු වන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන තුණුරුවන්ගේ අනන්ත ගුණයන්ය. එම ත්‍රිවිධ රත්නයෙහි ගුණයන් වනාහි පරම සත්‍යය ධර්මතාවයක් වන්නේය. එය ලෝකයේ කිසිවෙකුටත් කිසිම අවස්ථාවක අසත්‍යයි කියා ප්‍රකාශ කළ නොහැක. බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්නට ලැබෙන අනන්ත වූ නව අරහාදී බුදු ගුණයන්ද ධර්ම රත්නයෙහි දක්නට ලැබෙන ස්වාක්ඛාතාදී දහම් ගුණයන්ද මහ රහතුන් වහන්සේලා තුල දක්නට ලැබෙන සුපටිපන්නතාදී අනන්ත ගුණයන්ද එක් කොට මෙම පිරිත් ධර්මය දේශනා කර ඇත. එහි ආනිසංස ලෙස, 

1.රෝග බිය දුරු කිරීමට හේතුවන බව  
2.දුර්භික්‍ෂ බිය දුරු කිරීමට හේතුවන බව  
3.අමනුෂ්‍ය බිය දුරුකිරීමට හේතුවන බව 
4.සිතෙහි ඇතිවන බිය තැතිගැනීම දුරුකිරීමට හේතුවන බව  
5.තුණුරුවන්ගේ ආරක්‍ෂාව, ආශිර්වාදය ලබා ගත හැකි බව 
6.පිරිත් ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණෙන දෙවියන්ගේ ආශිර්වාදය, ප්‍රිය බව ලැබීමට හේතුවක් වන බව  
7.සිතෙහි නිරාමිස සැනසීම, සතුට ඇතිකිරීමට හේතුවන  බව  
8.සත්ත්වයින්හට ප්‍රිය වන බව  
9.ආයු වර්ධනයට හේතු වන බව